හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ නාමල් කුමාර නමැත්තා සිය මිතුරන් කිහිපදෙනකු සමඟ එක්ව එවකට විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ කුමන්ත්‍රණයක් ඊයේ (08දා) පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය වී තිබෙනවා.

එවකට ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඊයේ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේ මෙම සැලසුම හෙළිදරව් වුණා.

ඊට අදාළව හුවමාරු වූ දුරකථන සංවාද හඬපටද ඊයේ කොමිසම හමුවේ වාදනය වූ බව සඳහන්.

නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර ඇති වූ දුරකථන සංවාද කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණා.

අදාළ දුරකථන සංවාදවල හඬපට කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින්.

එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර නාමල් කුමාර තොරතුරුකරුවකු ලෙස තමන් වෙත යොමු කර තිබූ බවත් පසුව ඔහුගෙන් ලද තොරතුරු මත රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි ස්ථාන පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බවත් ඔහුපැවසුවා.

මේ අතර ඉන් එක් දුරකථන ඇමතුමක් අතරතුර නාමල් කුමාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් පිළිබඳව නාලක ද සිල්වාගෙන් විමසන අතර ලතීෆ් මහතා කෙබඳු පුද්ගලයකුද යන්න ඔහු විමසයි.

පිළිතුරු වශයෙන් නාලක ද සිල්වා පවසන්නේ, ලතීෆ් මහතා මුස්ලිම් ජාවාරම්කරුවන් විසින් ජාවාරම් කරන කුඩු වැටලීම් නොකරන බවයි. ඔහු (ලතීෆ්) මුස්ලිම් ව්‍යාපාරිකයන් සමඟ දිනපතා විනෝද සාද පවත්වන බවත් නාලක ද සිල්වා නාමල් කුමාරට පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here