අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය පස් දින නිල සංචාරය ආරම්භ කරමින් අද ඉන්දියාවට පැමිණියා.

ඉන්දිය අගමැති හමුවිමෙන් පසු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රීලංකාවට පැමිණිමට නියමිතයි.

වසර 16කට පසුව අමෙරිකානු ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙම කලාපය තුල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වනවා.

හෙට (27) දහවල් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත අතර පසුදින දක්වා රාජ්‍ය ලේකම්වරයා මෙරට රැඳීසිටිනවා.

මෙම සංචාරයේ සුවිශේෂීත්වය වන්නේ චීන රාජ්‍යතාන්ත්‍රික දුත පිරිස මෙරටට පැමිණ මාසයක් ඉකුත්වීමටත් පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමයි.

සංචාරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරය අතරතුර ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවි සාකච්ජා පැවැත්විමට නියමිත බවයි.

දෙරට අතර ද්වීපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් වන අයුරින් සාකච්ඡා පැවැත්වීමට මෙහිදී කටයුතු සුදානම් කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර සංචාරයට පෙර ඇමරිකාව ශ්‍රි ලංකාවට දන්වා සිටියේ දිගු කාලීන ආර්ථික ස්වාධිනත්වය උදෙසා “දුෂ්කර නමුත් අවශ්‍ය” තීරණ ගන්නා ලෙසයි.

ශ්‍රි ලංකාව පිලිබද සෘජුවම සොයා බැලිමට පත් කළ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩීන් ආර්. තොම්සන් මෙම ප්‍රකාශය අවසානයේ සදහන් කලේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා හවුල් වීමට අමෙරිකාව සූදානම් බවයි.
එම ප්‍රකාශය චීනය අර්ථ දැක්වුයේ අමෙරිකාවේ “සීතල යුධ මානසිකත්වය “ක් ලෙසින්.

එම තත්ත්වය හෙලා දකින බව බෙයිජිං නුවර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියැන් සදහන් කලා.

කොරෝනා වෛරසයට පෙර සිටම ශ්‍රී ලංකාව මුල්‍ය හා ආර්ථික අර්බුදයක සිටි බවත් එහිදී මෙතෙක් සගයාව සිටි චීනයේ උදව් පැහැර හැරීම තුලින් ශ්‍රී ලංකාව වෙත අවධානමක් ඇති බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා සඳහන් කල බව රෝයිටර් පුවත් සේවය වාර්තා කලා.

එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රි ලංකාව සිය ආර්ථික සහයෝගිතා ඇතිකරගන්නේ කා සමගදැයි තිරණය කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව අනතුරු ඇගවිමක් සිදු කර ඇති බවයි.

ලෝක ආර්ථික බලවතා ලෙස හැඳින්වෙන අමෙරිකාව වෙත මේ වනවිට ආසියානු කලාපයේ ආර්ථික බලවතා වන චීනයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා.

විශේෂයෙන්ම චීනය විසින් වරින් වර දකුණු ආසියාතික කලාපයේ රටවල් වෙත චීන දුත පිරිස් නිරන්තරයෙන් එවීම තුල තම ආර්ථික ස්ථාවරය ගොඩනගා ගැනීමේ ක්‍රමවේදයක් චීනය විසින් පසුගිය කාලසීමාවේදී අනුගමනය කරනු ලැබුවා.

ඉහත කී ආර්ථික බල අරගලය මතම බොහෝ විට මයික් පොම්පියෝගේ මෙම සංචාරය පදනම් වනු ඇති බවයි ලෝක දේශපාලන විචාරකයින් අදහස් දක්වන්නේ.

නැතිනම් අමෙරිකානු ජනාධිපතිවරණයට දින කිහිපයක් පමණක් තිබියදී මෙවන් සංචාරයක් සිදුකිරීම පුදුම සහගත බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here