20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පිළිබඳ පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ හෘදසාක්ෂියකට එකඟව තමන්ට 20 වැනි සංශෝධනය සඳහා පක්ෂ විය නොහැකි බවයි.

හිටපු ජනාධිපතිවරයා ලෙස තමා 19 වැනි සංශෝධනය ගෙනඒම සඳහා මූලිකත්වය ගත් පුද්ගලයෙකු බැවින් තමාගේ මූලිකත්වයෙන් ගෙනා 19 වැනි සංශෝධනය අහෝසි කිරීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනය සඳහා පක්ෂ විය නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. එය සිය හෘදසාක්ෂියට එරෙහිව යාමක් බවත්, එබැවින් කුමන හේතුවක් මත හෝ තමාට 20 වැනි සංශෝධනය සඳහා පක්ෂ විය නොහැකි බවත් ඔහු ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ සාමූහික වගකීම කඩ කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවද හිටපු ජනාධිපතිවරයා දන්වා තිබෙනවා.

ශ්‍රීලනිපයේ සාමාජිකත්ව දරන සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වගකීමක් ගැනීමට හෝ සහතිකයක් ලබාදීමට නොහැකි බවද ඔහු ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා. ඔවුන් බහුතරයක් තනතුරු වරප්‍රසාද වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්නා පුද්ගලයන් බැවින් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳව තමාට වගකීමක් ගත නොහැකි බවත් සිරිසේන මහතා පවසනවා.

ඔවුන් කුමන තීරණයක් ගත්තද 19 වැනි සංශෝධනය සඳහා පූර්ණ සහයෝගය ලබාදුන්, එම සංශෝධනය ගෙනඒමට මැදිහත් වූ තමාට 20 ට පක්ෂ වීම හෘදසාක්ෂියට අනුව ගතහැකි තීරණයක් නොවන බවයි හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවර වී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here