Home Local News 2019 ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් මාව ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැහැ,” –...

2019 ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් මාව ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැහැ,” – රනිල් වික්‍රමසිංහ

31
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට රටේ ආරක්ෂක අංශ වල පැහැදිලි බිඳවැටීමක් සිදුව තිබූ බව එම අවස්ථාව වන විට මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ ඊයේ (13) පිළිගත්තේය.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුවක් ලෙස පැවති යහපාලන රජයේ අඩුපාඩුකම් බොහෝමයක් දක්නට ලැබුණු බැවින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමේ වගකීම එම ආණ්ඩුව නියෝජනය කළ සියලුදෙනා භාරගත යුතු බවය.

පාස්කු කොමිසම ඉදිරියේ ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදුන්නේ දෙවැනි වරටය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව විමසා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සිලයට රටේ අග්‍රාමාත්‍යවරයා කැඳවීම වැදගත්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, “සාමාන්‍යයෙන් කැඳවීමක් වුණා. කිසියම් අවස්ථාවක ජනාධිපති තනතුර හිස්වුණොත් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන්න ඒ වැඩ ගැන අගමැති දැනං ඉන්න ඕනේ,” යැයි පිළිතුරු දුන්නේය.

ඔබ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී පැවති සෑම ජාතික ආරක්ෂක කවුන්සිලයකටම සහභාගි වුයේද යන්න ‍රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙහිදි විමසා සිටි අතර එයට පිළිතුරු ලෙස වික්‍රමසිංහ මහතා කියා සිටියේ, “මම සමහර වෙලාවට සහභාගි වුණේ නැහැ. මොක ද ඉස්සර වගේ එක දිනයක් තිබුණේ නැහැ. පැය 24 කට කළින් තමයි කියන්නේ හෙට ආරක්ෂක කවුන්සිලය තියෙනවා කියලා. එතකොට අපි යොදාගෙන හිටපු කාර්යයන් වෙනස් කරන්න අමාරුයි. සතියකට සැරයක් ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වීම වැදගත්. මගේ යටතේ තිබුණ ආර්ථික කමිටුව අපි සෑම සතියකම නියමිත දවසක රැස්වුණා. නමුත් ආරක්ෂක කවුන්සිලය එහෙම රැස්වුණේ නැහැ,” යනුවෙනි.

2018 ඔක්තෝම්බර් 26 සිට 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනය දක්වා කිසියම් හේතුවක් මත ජනාධිපතිවරයා විසින් ඔබව ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවු බව පිළිගන්නවාද..?

“ඔව් මම පිළිගන්නවා. 2018 ඔක්තෝම්බර් 26 ඉදලා දෙසැම්බර් 16 වෙනකන් මම අගමැති නෙමේ. 2019 ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් මාව ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැහැ,” යැයි වික්‍රමසිංහ මහතා පිළිතුරු දුනි.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඔබ සහ හිටපු ජනාධිපතිවරයා අතර යම් මත ගැටුමක් පැවතියේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, “එහෙම ලොකු මත ගැටුම් තිබුණේ නැහැ. හිටපු ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස තරග කරලයි ජනාධිපති ලෙස පත්වුණේ. ඒ නිසා විවිධ පාර්ශව සහ ජනාධිපතිවරයා අතර යම් වෙනස් ආකල්ප තිබුණා. ප්‍රශ්න තියෙනවා ඕනෑම ආණ්ඩුවක ඒ වුණාට අපි ආණ්ඩුවක් ලෙස ඉස්සරහාට ගියා,” යනුවෙනි.

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සිටි කාලයේ ඔහු විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කළ කරුණු දැක්වීම්වලට ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයේදි විරුද්ධ වුණාදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළාය.

“මට එතුමාගේ දැනුම ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම ඔය කියන විධිහට ප්‍රතිචාර දක්වලත් නැහැ. නමුත් එතුමාගේ ක්‍රියාකලාපය ගැන මට ප්‍රශ්න තිබුණා. මම ඒ ටික මාධ්‍ය නැතුව කියන්නම්,” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීමත් සමග කොමිසම් සභාවෙන් මාධ්‍යවේදින් ඉවත් කෙරුණා.

පසුව සුළු මොහොතකින් කොමිසම් සභාවේ කටයුතු යළි මාධ්‍යයට විවර වූ අවස්ථාවේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් හමුදා ප්‍රධානින් මුස්ලීම් කාන්තාවන් පළඳින නිකාබය තහනම් කිරීමට ජාතික ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ගෙන ආ විට ඔබ එයට විරුද්ධ වුයේ මන්ද යන්නය.

“මම එයට විරුද්ධ වුණේ නැහැ. මොකද ඒ ගැන ඡන්දයක් තිබුණේ නැහැ. හැබැයි මම ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ආරක්ෂක අංශ කිව්වේ අදාළ කාලය වන විට ප්‍රංශයෙත් තහනම් කරලා තියෙන්නේ කියලා. මම කිව්වා ප්‍රංශයෙ තහනම් කළාට බ්‍රිතාන්‍යයේ තහනම් නැහැ කියලා. අනික අපි මේක කළොත් මුස්ලීම් අන්තවාදින්ට නැගී සිටින්න අවියක් දෙනවා. කතාකරන්න මාතෘකාවක් දෙනවා. 83 කෝලහාලයටත් මුල්වුණේ ඒ දේ. එකෙන් වෙන්නේ සාම්ප්‍රදායික මුස්ලීම්වරුන් දුර්වල කරන එක. ඔවුන් අතරෙන් අන්තවාදින් ගැන තොරතුරු එන එක නතර වෙනවා,” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

“හරි දැන් ඔබ ඕකට විරුද්ධ වුණේ තොරතුරු එන එක නැවතෙයි කියලානේ. එහෙනම් තොරතුරු එන්න එපැයි. නමුත් අප්‍රේල් 21 මේ රටේ ස්ථාන 08 ක බෝම්බ පුපුරන තෙක් සහරාන්ගේ මේ ප්‍රහාරය ගැන විදෙස් බුද්ධි තොරතුරට අමතර කිසිම තොරතුරක් මේ රටේ රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණේ නැහැනේ,” යැයි ජනාධිපති කොමිසමෙව් සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කළේය.

“සාම්ප්‍රදායික මුස්ලීම් සමාජයෙන් අපිට තොරතුරු ආවා. දෙමළෙන් තිබුණු සහරාන්ගේ දේශන මමත් එහෙන් මෙහෙන් අහලා තිබ්බා. නමුත් එතනින් එහාට මේ සම්බන්ධයෙන් විමර්ශන කරන එක තිබ්බේ අපේ ආරක්ෂක අංශ අතේ. අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වන බවට ඉන්දියාවට තොරතුරු ලැබිලා අපිට නොලැබුණා කියන්නේ එක අපේ අඩුපාඩුවක්,” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා, “හිටපු අග්‍රාමාත්‍යතුමනි සහරාන් නුවරඑළියේ පන්ති කළා කියලා මිනිස්සු පොලීසියට කියලා තිබෙනවා. පොලීසිය එතනට යද්දි සහරාන් ඉඳලත් තිබෙනවා. නමුත් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා නැහැ,” යනුවෙන් සදහන් කළේය.

“එක තමයි මම කියන්නේ එක අපේ අඩුපාඩුවක්,” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා යළිත් කියා සිටියේය.

“රවුෆ් හකීම් මහතා මේ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නා. සහරාන් ගැන ඔහු ඉස්සෙල්ලාම දැනගත්තේ ඔබේ බිරිඳ එවු විඩියෝ දර්ශනයකින් කියලා,” යැයි ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

“ඒක ඇය මටත් පෙන්නුවා. දෙමළෙන් තිබ්බ නිසා මට ලාවට තේරුණේ. මමයි කිව්වේ රවුෆ්ට යවලා සොයා බැලීමක් කරන්න කියන්න කියලා. මම ඒ වෙද්දිත් සහරාන් කව්ද කියලා දැනගෙන හිටියා. කොහෙද හිටියේ කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඔහු නැගෙනහිර දේශපාලනයේ කොටසක් බව මම දැනන් හිටියා,” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 21 ප්‍රහාරය ගැන සහරාන් ඇතුළු ත්‍රස්තවාදින් පිරිස දිගින් දිගටම රතු සීනු හඬවා තියෙද්දිත් ඇයි මෙම මහා විනාශය නවත්වා ගැනීමට නොහැකි වුයේ ඇයි ද යන්නය.

“වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනයට එල්.ටී.ටී.යි. එක සම්බන්ධයි කිව්වා. මාවනැල්ල බුදු පිළිම කැඩීමක් වුණා. කබීර් හෂීම් හිටපු අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක්ට වෙඩි තිබ්බා. මට කබීර් ඇමතිතුමා පෞද්ගලිකලව කිව්වා මේ ගැන හොයන්න කියලා. මම පොලිස්පතිවරයාවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි ගෙන්නලා කතා කරලා උපදෙස් දුන්නා මේ ගැන වහාම විමර්ශනය කරන්න කියලා. ඊළගට වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමක් වුණා. කාත්තන්කුඩියේ තාලන්කුඩා වල සහරාන් පෙර පුහුණුවක් කරලා තිබුණා. මේ සියල්ල ගැන අපේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ විධිමත් විශ්ලේෂණයක් කරලා තිබුණේ නැහැ. මෙච්චර දේවල් වෙලත් සහරාන් ඉන්න තැනක් සොයාගන්න බැරිවුණා,” යැයි වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කළේ, “ඔබ ඔය කියන්නේ මේ සිදුවීම වෙන කාලය වනවිට රටේ ආරක්ෂක අංශ වල බිඳවැටීමක් තිබුණා කියලද…?” යනුවෙනි.

“ඔව් එහෙම කියන්න පුළුවන්” ඇයි හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමේ සභාපතිවරයාගේ යෝජනාව පිළිගත්තේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, “ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා රටෙන් පිටවී සිටි අවස්ථාවක, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත්කිරීමක් සිදුව නැත්නම්, රටේ දෙවන පුරවැසියා ලෙස ඔබට හදිස්සි අවස්ථාවක තීරණ ගැනීමේ හැකියාවක් පැවතියා ද,” යන්නය.

“ඔව් 1993 මැයි 01 ප්‍රේමදාස මහත්මයා ඝාතනය වුණාම සභානායක ලෙස ඉඳපු මම තමයි ආරක්ෂක අමාත්‍යශයේ වැඩභාර අරන් ක්‍රියාත්මක වුණේ. හදිස්සි අවස්ථාවකදි කවුරු හරි ක්‍රියාත්මක වෙන එකයි වෙන්න ඕනේ. සුනාමි අවස්ථාවේදිත් චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ලංකාවෙව් හිටියේ නැහැ. නමුත් මහින්ද මහත්මයා ක්‍රියාත්මක වුණා,” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

ඔය කියන විදිහට ඔබ මෙම ප්‍රහාරය අවස්ථාවේදිත් ක්‍රියාත්මක වුනාද..? ප්‍රහාරයෙන් පසුවත් ඔබ කැඳවන රැස්වීම්වලට යන්න එපා කියලා හිටපු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාට සහ හමුදා ප්‍රධානින්ට උපදෙස් දීලා තිබුණද..? ‍යැයි මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය.

“ඔව් මම ක්‍රියාත්මක වුණා. රුවන්, හර්ෂ, කබීර්, රංජිත් මද්දුම බණ්ඩාර වගේ කිහිපදෙනෙක් එක්ක මම ආරක්ෂක අමාත්‍යාංශයට ගියා. මම වගකිවයුතු නිලධාරින්ට එන්න කිව්වා. නීතිපති,සොලිසිටර් ජනරාල්වරයා ඇවිල්ලා හිටියා. මට දැනගන්න ලැබුණා ආරක්ෂක ලේකම් සහ හමුදා ප්‍රධානීන්ට යන්න එපා කියලා දැනුවත් කරලා තියෙනවා කියලා. නමුත් පස්සේ ඒ අයවත් සම්බන්ධ කරගත්තා. ඒ වෙද්දිත් ජනාධිපතිවරයා මට දුරකථනයෙන් කතා කරලා නැහැ. මමයි කතා කරලා ජනාධිපතිවරයාව දැනුවත් කරලා පොලිස්පතිවරයාට කියලා පොලිස් ඇදිරිනීතිය දැම්මේ. පස්සේ ජනාධිපතිවරයා විදෙස්ගතව ඉඳලා එදින රාත්‍රීයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණ හින්දා මම ගුවන්තොටුපළ පරිශ්‍රයටත් ආරක්ෂාව දැම්මා,” යැයි වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

“ඔබ සහ ජනාධිපතිවරයා අතර යම් මතභේදයක් තිබිලා තියෙනවා කියලා මේ කොමිසමට සාක්ෂි ලැබිලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයාත් ඒ ගැන කියලා තියෙනවා. එහෙම තියෙද්දිත් මේ පිපිරීමෙන් පස්සේ ජනාධිපතිවරයා දිවයිනට එන මාර්ගයට ආරක්ෂාව යොදවන්න හිතුනේ ඔබ සතු මානුෂීය ගුණයක් නිසාද..?”

“එක මම දන්නේ නැහැ. එක කොමිසම තීරණය කරන්න. එච්චර විනාශයක් වෙලා තියෙද්දි අපිට තව විනාශයක් වෙන්න දෙන්න බැහැ. එහෙම දෙයක් වුණා නම් ජාත්‍යන්තරය ඉදිරියේ රට විනාශවෙනවා. අපේ යුතුකමක් ඒ වගේ වෙලාවට රටේ ජනාධිපතිවරයාට ආරක්ෂාව දෙන එක,” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හිටපු අග්‍රාමාත්‍යවරයා CNN නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් විවෘත කොමිසම හමුවේ ප්‍රදර්ශනය කරමින් ප්‍රශ්න කළේ, “ඇතැම් බෝම්බකරුවන් බුද්ධි අංශ විසින් ආවේශනය කරලා තිබ්බා. නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට තරම් සැලකිය යුතු සාක්ෂි නොතිබුණා යැයි,” ඔබ අදාළ සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කළේද යන්නය.

“ඔව්, අයි.එස් සංවිධානයට සම්බන්ධ ඇතැම් අය අපේ බුද්ධි අංශ සමග සම්බන්ධතා පවත්වා තිබුණා,” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුනි.

“ඔබ එම සාකච්ඡාවේ කිව්වට මෙම ප්‍රහාරයට පෙර දිනක සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත් වී පසුව නිදහස් කරලා කියලා,” යැයි කොමිසමේ සභාපතිවරයා පෙරළා ප්‍රශ්න කළේය.

“මම ඒ ගැන මාධ්‍ය නැතුව කියන්නම්,” යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීමත් සමග කොමිසම් සභා පරිශ්‍රයෙන් මාධ්‍යවේදින් ඉවත් කෙරිණි.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අනෙකුත් වගඋත්තරකාර පාර්ශව හරස් ප්‍රශ්න ඇසීම ඊයේ සිදුවිය.

එහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා විමසා සිටියේ බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමක් සහ ජාතික ආරක්ෂක කවුන්සිලය අතර පවතින වෙනස කුමක්ද යන්නය.

“අඟහරුවාදා බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේදි සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් තීරණ ගන්නේ නියෝග නිකුත් කරන්නේ ජාතික ආරක්ෂක කවුන්සිලයේදි,”යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දුනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “බුද්ධි තොරතුරු, ලංකාවේ දේශපාලන තොරතුරු ගැන එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දෛනිකව ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. අපි එකඟතාවයට ඇවිල්ලා තිබුණා බුද්ධි තොරතුරු ගැන ආරක්ෂක ලේකම් ජනාධිපතිවරයාව දැනුවත් කරන්නේ නැහැ කියලා. මගේ සේවා කාලයටම ජනාධිපති මගෙන් අහලා නැහැ ඇයි හේමසිරි මට ඔයා බුද්ධි තොරතුරු ගැන දැනුවත් නොකරන්නේ කියලා. මොකද ජනාධිපතිවරයා එකඟතාවය දැන සිටියා.”

“මේ ප්‍රහාරය එල්ල වෙන්න දින තුන හතරකට කලින් සහරාන් කොළඹට ඇවිල්ලා තියෙනවා. නමුත් අපේ රාජ්‍ය බුද්ධි සේවයට ඒක හොයාගන්න බැරිවුණා. හිටපු ජනාධිපතිවරයා කියනවා සහරාන්ව අල්ලන්න කියලා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී  නියෝග දුන්නා කියලා. මටවත් පොලිස්පතිවරයාටවත් එහෙම නියෝගයක් දීලා තිබුණේ නැහැ. වෙන කාටහරි දුන්නද දන්නේ නැහැ”

එම පැහැදිලි කිරීම අවසානයේ “හේමසිරි මහත්මයා ඔබතුමයි පොලිස්පතිතුමයි කොමිසම හමුවේ කියන දේවල් එකිනෙකාට හොඳට දන්නවා නේ,” යැයි කී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා හිටපු ජනාධිපතිවරයා මාසිකව පොලීසියේ ජ්‍යෙෂ්ඨයන් සමග රැස්වීමක් පවත්වන්නේ දැයි විමසීය.

එයට පිළිතුරු දුන් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ, “වතුර රැස්වීමක් නම් තිබ්බා. දවසක් ජනාධිපති ලේකම් කාර්යාලයගාවදී උද්ඝෝෂණකයන් පිරිසකට කැරළි මර්ධන අංශයෙන් වතුර ගහලා තිබ්බා. ජනාධිපතිවරයාගෙන් මට Call එකක් ආවා. කව්ද අර මගේ කාර්යාලය ඉස්සරහා පිරිසකට වතුර ගැහුවේ ඇහුවා. මම කිව්වා දන්නේ නැහැ සර් කියලා. ඔහේ ආරක්ෂක ලේකම් නේද, පොලීසිය තියෙන්නේ ඔහේගේ යටතේ නේද කියලා ජනාධිපතිවරයා මගෙන් ඇහුවා. මම කිව්වා ඔව් සර් දුන්න නිසා එක මගේ යටතේ තියෙන්නේ කියලා. දැන් ඔහේ දන්නේ නැහැ වතුර ගැහුවේ කව්ද කියලා යැයි ආයෙත් අහපු ජනාධිපතිවරයා ෆෝන් එක කට් කළා. පස්සේ මම පොලිස්පති පූජිත්ට කෝල් එකක් ගත්තා. පූජිත් කව්ද අර ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයකට වතුර ගහලා තියෙන්නේ කියලා මම එයාගෙන් ඇහුවා. එයා මම දන්නේ නැහැ සර් කියලා පිළිතුරු දුන්නා. එහෙනම් කව්ද ඕයි දන්නේ කියලා මම පූජිත්ගෙන් ඇහුවා. එක මම දන්නෙත් නැහැ සර් කැරළි මර්ධන ඒකකයේ ප්‍රධානියා තමයි තීරණ ගන්නේ කියලා පූජිත් මට කිව්වා. මම ඔය සිද්ධිය ජනාධිපතිවරයාට පැහැදිලි කළා. පස්සේ ජනාධිපතිවරයා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඔක්කොම කැඳවලා කිව්වා “මීට පස්සේ මම රට හිටියත් මගෙන් අහලයි වතුර ගහන්නේ කියලා” යැයි හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙහිදි හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, “ජාතික ආරක්ෂක කවුන්සිලය විධිමත්ව රැස්කරලා තීරණ නොගැනීම මේ පිපිරීම් වළක්වා ගැනීමට නොහැකිවීමට එක හේතුවක්. මම කීයටවත් පිළිගන්නේ නැහැ මේ තොරතුර මොන තත්ත්වය යටතේවත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිව්වේ නැහැ කියලා. ඇසුණු වක්‍රාකාර කතාවලින් මට කියන්න තියෙන්නේ මේ පෙර බුද්ධි තොරතුර ගැන හිටපු ජනාධිපතිවරයා දැනගෙන සිටියා. අන්තිමට කළේ මාවයි පොලිස්පතිවයි විතරක් දංගෙඩියට යවපු එක. පොලිස් ලොග් බුක් වල කොළ ඉරපු අයත් අන්තිමට අත හෝද ගත්තා. මේ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වැඩිම වගකීම ජනපති ගන්න ඕනේ. මොකද දේශපාලන නායකත්වය දුන්නේ නැහැ. ප්‍රහාරයක් වෙන බව දැනගෙනමයි එයා විදෙස් ගතවුණේ. මම අස්වීම දෙන්න ගියාම ඇහුවා සර්ට දවසගානේ හැමදේම කියන නිලන්ත ඕක විතරක් කිව්වේ නැද්ද කියලා. නැහැ කිව්වා. එත් මම අංග චලනයන්ගෙන් දැක්කා බොරුවක් කිව්වේ කියලා. පස්සේ මම ඇහුවා ඔච්චර හැමදේම කියන නිලන්ත ඕක විතරක් නොකිව්වානම් එයා නෙමේද වරදකාරයා කියලා. හිටපු ජනාධිපතිවරයා එවිට නිහඩව හිටියා,” යැයි  හේමසිරි ප්‍රනාන්දු මහතා අවසන් වශයෙන් කොමිසම හමුවේ කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here