Home Political News හිටපු අමාත්‍යාංශ ලේකම් විසින් පූජිත් ජයසුන්දරට ලබාදුන් අවවාද හෙලිදරව් කරයි.

හිටපු අමාත්‍යාංශ ලේකම් විසින් පූජිත් ජයසුන්දරට ලබාදුන් අවවාද හෙලිදරව් කරයි.

13
0

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ධුරය දරන සමයේ ඔහුගේ නුසුදුසු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කැඳවා ඔහුට අවවාද කළ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (08) සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ මලල්ගොඩ කමිටුවේ සමාජිකයෙකු වු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඊයේ දෙවන දිනට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුනි.

එහිදී සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ, “මම සහභාගී වූ ජාතික ආරක්ෂක කවුන්සිලවලදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිය යුතු තීරණ ගැනුණු බව මට මතක නැහැ,” යනුවෙනි.

එසේම පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස, රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි අංශය අතර වෘත්තීමය ගැටුම් පැවති බව තම සේවා කාලයේදී නිරීක්ෂණය වු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ, “පොලීසියේ තිබුණු ප්‍රශ්න මොනවද?”  යන්නය.

“එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා විවිධ උත්සවවලට සහභාගී වෙලා එහිදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවුණා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ද පුළුල් ප්‍රචාරයක් දුන්නා. අමාත්‍යාංශයේ අදහස වුණේ මෙවැනි චර්යාවන් නුසුදුසුයි කියලා,” යැයි ජයමාන්න මහතා පිළිතුරු දුන්නේය.

එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේ අමාත්‍යාංශය තුළ පොලිස්පතිවරයා ඉවත්කළ යුතුයි කියා යම් මතයක් පළවුණා ද? යන්නය.

“අපි එවකට පොලිස්පතිවරයා ගෙනල්ලා අවවාද කළා. එවකට නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරයාව සිටි රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා,” යැයි හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න පිළිතුරු දුනි.

එසේම මෙහිදී ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ, “යහපාලන රජය තුළ නිලධාරින්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබු නිදහස සීමිතයි. මොකද පැවති රජය සුළු ජාතික පක්ෂ මත රැඳී තිබුණු රජයක් නිසා සුළු ජාතිකයන් සම්බන්ධ වූ ප්‍රශ්නවලට මැදිහත්වෙන්න නිලධාරින් මැලිකමක් දැක්වුවා,” යැයි ජයමාන්න මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here