පෙම්වතෙක් ගැන අදහස් දෙන්න මට තවම පෙම්වතෙක් නැහැ

කලා ක්‍ෂේත්‍රයට අහම්බෙන් සම්බන්ධ වුණු රංගන ශිල්පීන් අතර තවත් රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂාණි. ඇය මේ වන විට ටෙලිනාට්‍යවලට වගේම සිනමාවටද ඇයගේ දක්‍ෂතාව පෙන්වමින් හෙමින් ගමනක් පියමනින හැඩකාරියක්.

මේ දවස්වල ඔබේ වෙනස්ම රංගනයක් ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ දකිනවා ?

එය ගැන මට ගොඩදෙනෙක් කිව්වා. ‘නදි’ චරිතයට ගොඩදෙනෙක් ආදරය කරන බව ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතාගන්න පුළුවන්. මමත් ගොඩාක් ආශාවෙන් කරපු චරිතයක් තමයි ඒක.

ආශාවෙන් චරිතය නිරූපණය කළාට ‘නදී’ චරිතය වෙනුවෙන්ම වෙනම හැදෑරීමක් කරන්නටත් සිදුවෙන්නට ඇති ?

ඔව්… මම සංගීතය ගැන දන්නේ නැහැ. මට එහෙම ලොකුවට ගායනා කිරීමට අපහසුයි. ‘නදී’ චරිතය නිසාම මට රාගතාල සංගීතය හදාරන්නට සිදුවුණා. ඒ චරිතය මම කරපු අනෙකුත් නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස්.

වර්තමානයේ බහුතරයක් දිය රෙද්දක් ඇඳගෙන රඟපාන්න කැමැති නැහැ. ඒත් ඔබ ඒ අභියෝගයත් බාරගත්තා ?

එහෙම කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම නිරූපණය කරන ‘නදී’ චරිතය ගැමි කතාවක් ආශ්‍රිතව තමයි සිදුවන්නේ. ඉතින් ඒ පරිසරය, වටපිටාව අනුව ‘නදී’ චරිතයට මම උපරිම සාධාරණයක් කිරීමට උත්සාහ කළා. ඒ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ.

ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ අවුරුදු කුමරිය තරගාවලිය හරහා නේද ?

2015 ‘ස්වාධීන රූපවාහිනි’යේ අවුරුදු කුමරිය තරගයට මමත් සම්බන්ධ වුණා. එයින් අවසන් වටයට තේරුණා. ශාන්ත සොයිසා අධ්‍යක්‍ෂණය කළ මෙගා ටෙලිනාට්‍යයට ඒ හරහා නළු නිළියන් තෝරාගත්තා. ඒ හරහා තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ.

නොහිතපු ගමනක් කාවින්ද්‍යා අද ඇවිත් තියෙනවා ?

පාසල් කාලයේදීවත් මම කලාවට සම්බන්ධ කිසිම වැඩක් කරලා නැහැ. මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ රංගන ශිල්පිනියක් වීමට. හැබැයි ඉතින් දැන්නම් ආශාවෙන් සම්බන්ධවෙලා වැඩ කරගෙන යනවා.

ඔබේ කලා දිවියට ‘උතුරු සුළඟ’ හමනවා නේද ?

චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්‍ෂණය කරන ‘උතුරු සුළඟ’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඉතාමත් කෙටි කාලයක් තුළ මට සිනමාවේ අත්දැකීම් ලබා ගන්නට ලැබීම එක ගැන මම සතුටු වෙනවා. ‘උතුරු සුළඟ’ චිත්‍රපටය තිරගත වෙනකොට අපි එය ගැන කතා කරමු නේද ?

ඔබ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේත් බයේ. ඒ සිතුවිලි සිනමාවේදීත් දැනුණද ?

ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා අවුරුදු තුනකට විතර පස්සේ තමයි මට චිත්‍රපටයකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණේ. ඉතින් සිනමා කැමරාව ඉදිරියේදීත් මට ලොකු බයක් දැනුණා.

කාවින්ද්‍යා කාවින්ද්‍යාගේ පෙම්වතා මොනවගේ අදහසක්ද දෙන්නේ ඔබේ රඟපෑම් දැකලා ?

එහෙම අදහස් දෙන්න මට තවම එහෙම පෙම්වතෙක් නැහැ. ගෙදරින් ලැබෙන ආදරය මට හොඳටම ඇති දැනට.

ක්‍ෂේත්‍රය ගැන හරිහැටි නොදැන වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස තෝරා ගැනීම හරිද ?

වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙසට වැඩ කරන්නේ මම විතරක් නෙවේනෙ. අනෙක අපි හරියට කරනවා නම් එය වෘත්තියක් ලෙසට තෝරාගත්තාට වරදක් නැහැ කියලා මම හිතන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here