ලෝකයේ, වර්ග කිලෝ මීටර 50,000කට වඩා විශාල කාන්තාර 25කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත. ඒවා ලොව විශාලතම කාන්තාර හැටියට හැඳින් වේ.

කාන්තාරයක් යැයි කී විට අපේ මතකයට එක්වරම නැඟෙන්නේ, දැඩි උණුසුමක් සහිත වූත්, ජලය බෙහෙවින්ම හිඟ වූත් පෙදෙසකි. එසේ වුවත්, ලෝකයේ ඇති ශීතල කාන්තාරවලට ඉතා සුළු වර්ෂාපතනයක් ලැබේ.

1.ඇන්ටාර්ක්ටික් කාන්තාරය

දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි මේ කාන්තාරයට යටත් බිම් ප්‍රමාණය, වර්ග කිලෝ මීටර 14,244,935ක් පමණ වේ. ලොව විශාලතම කාන්තාරය ලෙස සැලකෙන්නේ ද ඇන්ටාර්ක්ටික් කාන්තාරයයි. ඝන හිම තට්ටුවකින් වැසුණු මේ කාන්තාරයට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය, මිලි මීටර 50කට වඩා අඩු ය. එය සහරා, කාන්තාරයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනයටත් වඩා අඩු මට්ටමකි. මේ පෙදෙසෙහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශය ඍණ 85ක් පමණ වේ. ඇන්ටාර්ක්ටිකාවට ගිම්හාන ඍතුව උදා වූ විට, එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 10ක් දක්වා ඉහළ යයි. ඇන්ටාර්ක්ටිකාව පෙන්ගුවින් පක්ෂීන්ගේ පරාදීසයකි.

2. ආර්ක්ටික් කාන්තාරය

උත්තරාර්ධ ගෝලයේ පිහිටි ආර්ක්ටික් කාන්තාරය, වර්ග කිලෝ මීටර 13,985,936ක භූමි ප්‍රමාණයක් වසා පැතිර ඇත. ආර්ක්ටික් ප්‍රදේශවලට වාර්ෂිකව ලැබෙන්නේ ඉතාමත් සුළු වර්ෂාපතනයකි. සාගර කිහිපයක් සහ දූපත් කිහිපයක් ද මේ කාන්තාර ප්‍රදේශයේ ඇත. උෂ්ණත්වය ඉතා ම පහළ මට්ටමක පැවැතියත්, ශාක විශේෂ සහ සත්ව විශේෂ රාශියක් එහි දකින්නට පුළුවන. ඇතැම් වාර්තාවල දැක්වෙන අන්දමට, එහි තිබෙන ශාක විශේෂ සංඛ්‍යාව 700ක් පමණ වේ. එහි වාසය කරන සත්ව විශේෂ සංඛ්‍යාව 120කට ආසන්න ය.

3. සහරා කාන්තාරය

වර්ග කිලෝ මීටර 9,064,958ක් පුරා විහිදී පවත්නා සහරා කාන්තාරය තිබෙන්නේ උතුරු අප්‍රිකාවට අයත් භූමියේ ය. එය රටවල් 13කට අයත් ප්‍රදේශයන්හි පැතිර ඇත. ඇල්ජීරියාව, චැඩ්, ඊජිප්තුව, ලිබියාව, මාලි, මොරිටානියාව, නයිජර්, සුඩානය, ටියුනීසියාව වැනි රටවලට අයත් භූමිවලින් විශාල පෙදෙසක් සහරා කාන්තාරයට යට වී තිබේ. වැලි සහිත විශාලතම කාන්තාරයක් ලොව වේ නම්, එය සහරා කාන්තාරයයි. එසේ ම ලොව වැඩි ම උෂ්ණත්වයක් සහිත කාන්තාරයක් වේ නම් එය ද සහරා කන්තාරයයි.

සහරා කාන්තාරයේ ඇතැම් ප්‍රදේශවල ජනයා වාසය කරති. එසේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව මිලියන දෙකකකට අඩු බව සඳහන් වේ. කුරුලු විශේෂ 90කගේ, ක්ෂීරපායි විශේෂ 70කගේ සහ උරග විශේෂ 100කගේ පමණ වාස භූමියත් සහරා කාන්තාරයයි.

4. අරාබි කාන්තාරය

බටහිර ආසියාවේ රටවල් කිහිපයකට යටත් බිම් වසා පැතිර පවත්නා අරාබි කාන්තාරය, වර්ග කිලෝ මීටර 2,330,989කින් යුක්ත ය. අරාබි කාන්තාරයෙහි පවතින්නේ ද ඉතා උණුසුම් සහ වියළි කාලගුණ තත්ත්වයකි. මේ කාන්තාරයේ දැඩි වියළි ප්‍රදේශවලට වසරකට මිලි මීටර 30කට 40කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ නැත. අරාබි කාන්තාරයයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40කට වඩා වැඩි ය. සමහර අවස්ථාවලදී එය සෙන්ටිග්‍රේඩ් අංශක 48 ද පසු කරයි.

5. ගෝබි කාන්තාරය

ගෝබි කාන්තාරයට යටත් වන්නේ චීනයේ උතුරුදිග ප්‍රදේශ සහ මොන්ගෝලියාවේ දකුණුදිග ප්‍රදේශයි. ඊට යටත් භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1,294,994ක් පමණ වේ. ගෝබි කාන්තාරයට මිලි මීටර 194ක පමණ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ.

මේ කාන්තාරය විද්‍යාඥයන් අතර වඩාත් කතාබහට ලක්ව ඇත. එයට හේතුව, ක්‍රිටේෂියස් අවධියේ ජීවත්වුණු ඩයිනෝසරයන්ට අයත් පොසිල වැඩි ප්‍රමාණයක් පවතින්නේ, ගෝබි කාන්තාරය ආශ්‍රිතව බැව් ආනාවරණය වීමයි. ක්‍රිටේෂියස් අවධිය, ඩයිනසෝරයන් ජීවත්වුණු අවසන් අවධිය හැටියට සැලකේ.

6. කලහාරි කාන්තාරය

අප්‍රිකාවේ දකුණුදිග ප්‍රදේශවලට වන්නට ඇති කලහාරි කාන්තාරය, වර්ග කිලෝ මීටර 932,395 පුරා පැතිරී ඇත. බොට්ස්වානා, නැමීබියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් තුළ මේ කාන්තාරය විහිදී ඇත. මෙහි ඇත්තේ අර්ධ ශුෂ්ක කාලගුණ තත්ත්වයකි. කලහාරි කාන්තාරයට යටත් ප්‍රදේශවලට තරමක වර්ෂාපතනයක් ද ලැබේ. එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 110ත් 200ත් අතර වේ. තෙතමනය වැඩි ප්‍රදේශවලට මිලිමීටර 500ක පමණ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. මේ කාලගුණ තත්ත්ව සහ එහි වැඩෙන ශාක ආදිය සැලකිල්ලට ගෙන, වැඩිදෙනා එය හඳුන්වන්නේ අර්ධ ශුෂ්ක වූත්, වැලි සහිත වූත් සැවානා බිමක් වශයෙනි.

7. මහා වික්ටෝරියා කාන්තාරය

වර්ග කිලෝ මීටර 647,000කින් සමන්විත මේ කාන්තාරය තිබෙන්නේ, දකුණු සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ ආශ්‍රිතව ය. ඔස්ට්‍රේලියාවේ ඇති විශාලතම කාන්තාරය ලෙසත් එය සැලකේ. වික්ටෝරියා කාන්තාරයට මිලි මීටර 200ත් 250ත් අතර සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. එය, අකුණු සහිත කුණාටු බහුල පෙදෙසකි. වසරකට සාමාන්‍යයෙන් අකුණු සහිත කුණාටු 15ත් 20ත් අතර සංඛ්‍යාවක් එම ප්‍රදේශයට බලපායි. ගිම්හාන කාලයේදී එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32ත් 40ත් අතර වේ.

8. පැටගෝනියානු කාන්තාරය

වර්ග කිලෝ මීටර 673,000කින් සමන්විත පැටගෝනියානු කාන්තාරය තිබෙන්නේ, දකුණු අමෙරිකාවෙහි ය. ආර්ජන්ටිනාව සහ චිලී යන දෙරටට අයත් භූමියෙහි එය පිහිටා ඇත. පැටගෝනියානු කාන්තාරය පවතින්නේ මියොසිනේ යුගයේ මැද භාගයේ සිට බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව මෙයට වසර මිලියන 14ත් 12ත් ආතර කාලයදී පවා මේ කාන්තාරය දක්නට ලැබුණු බව කිව හැකි ය. පැටගෝනියානු කාන්තාරයට වසරෙන් මාස හතක පමණ කාලයක් ශීත ඍතුවයි. ඉතිරි මාස පහ ගිම්හාන කාලයයි. ශීත කාලයේදී එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 12ත් 3ත් අතර මට්ටමකට පහළ වැටේ. එසේ වුවත්, ගිම්හාන කාලයේදී එහි සාමාන්‍යය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 ඉක්මවයි.

9. සිරියානු කාන්තාරය

සිරියාවේ ගිනිකොණ දිග ප්‍රදේශ, ජෝර්දානයේ ඊශාන දිග ප්‍රදේශ, සවුදි අරාබියේ උතුරු බිම් සහ ඉරාකයේ බටහිර දිග පෙදෙස් මේ කාන්තාරයට යටත් ය. වර්ග කිලෝ මීටර 520,000ක පමණ පෙදෙසක් වසා එය පැතිරී ඇත. මේ කාන්තාරය වඩාත් ප්‍රකටව ඇත්තේ පාෂාණමය, වියළි භූමියක් හැටියට ය. සිරියානු කාන්තාරය ආශ්‍රිත පරිසරය මේ වනවිට තර්ජනයකට ලක්ව ඇති බව පරිසර විද්‍යාඥයෝ පවසති. එම තර්ජනය මතුව තිබෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්, එහි ඇති තණ කොළ අධික ලෙස උලාකෑම සහ දැඩි නියඟය යන තත්ත්ව නිසයි. තණ කොළ හිඟවීම නිසා එම පරිසරය වාස භූමිය කර ගත් සතුන් වඳ වී යන්නට පටන් ගෙන ඇත. දැඩි පෑවිල්ල හේතුවෙන් ශාක මියයෑමත්, වඳ වී යෑමත් එහි සුලභව දක්නට ලැබේ.

10. ග්‍රේට් බේසින් කාන්තාරය

වර්ග කිලෝ මීටර 492,100 කින් සමන්විත මේ කාන්තාරය ඇත්තේ උතුරු අමෙරිකාවෙහි ය. ග්‍රේට් බේසින් කාන්තාර පෙදෙසට වාර්ෂිකව ලැබෙන්නේ අඟල් 7ත් 12ත් අතර වර්ෂාපතනයකි. ගිම්හාන කාලයක් මෙන් ම, ශීත කාලයක් මේ කාන්තාරයට උදා වේ. ගිම්හානය අතිශයින්ම උණුසුම් වුවත්, ශීත කාලයට එහි හිම පතනය වේ. මේ කාන්තාරය පක්ෂි විශේෂ 204ක සහ ක්ෂීරපායි විශේෂ 105ක වාස භූමියයි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here